ඉතිහාසය - History


(මොරටුමුල්ල තපසරාරාම මහා විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව දැනට විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ වාසය කරන සරණපාල වංශාලංකාර ප්‍රේමරතන මංගල ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය අමරපුර නිකායේ කාරක සභික ධුරන්දර බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මොරටුවේ සුමනරතන නායක මහා ස්ථවිරයන් සමඟ 2014.09.07  දින තපසරාරාම විහරස්ථානයේ ඉතිහාසය පිළිබඳව පවත්වන ලද සාකච්ඡාව ඇසුරෙණි.)

වර්ෂ 1800 දී මොරටුවට වැඩම කළ දොඩන්දුවේ සරණපාල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, රේවත නම් වු ගණින් වහන්සේ වැඩ සිටි ස්ථානයේ ස්ථිර පදිංචියට වැඩම කළ සේක. රේවත නම් ගණින් වහන්සේ වැඩසිටි වත්ත රේවතගේ වත්ත යනුවෙන් හැදින් වු අතර පසුව එය රාවතාවත්ත නමින් ප්‍රසිද්ධ විය. දොඩන්දුවේ සරණපාල හිමියන් එහි පදිංචි වුවාට පසුව උන්වහන්සේට උවටැන් කිරීම සඳහා සිටියේ  ප්‍රදේශයේ කිහිපදෙනෙකු පමණි. ඒ තරම් ප්‍රබල ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව සුදු අධිරාජයන්ගේ පාලනයට යටත්වී සිටි අතර ප්‍රදේශයේ වෙහෙර විහාර ද විනාශ වී තිබුණි. ජනතාවට ආගම පවා අදහා ගැනීමට නිදහසක් නොතිබූ කාලයක මෙහි පැමිණි දොඩන්දුවේ  සරණපාල හාමුදුරුවෝ මෙහි ස්ථීර පදිංචියට පත්වූසේක.  ඒ වනවිට උන් වහන්සේට උදවු කිරීමට මොරටුවේ සිටියේ පවුල් කිහිපයක් පමණී  ඒ මොරටුවේ පාරම්පරික පවුල් විසින් පැවත ආ පවුල් කිහිපයක්  වන මහතෙල්ගේ පරම්පරාව,  කුඩාතෙල්ගේ පරම්පරාව,  වන්නකුවත්ත වඩුගේ පරම්පරාව, ගාර්දියවසම් ලිඳමුලගේ පරම්පරාව හා මැන්දිස් පරම්පරාව යනු එම පවුල්වේ.  1800 දී  රේවත නම් ගණින් වහන්සේගේ ඉඩමට වැඩම කල දොඩන්දුවේ සරණපාල හාමුදුරුවන්ට 1814 දී එම ප්‍රදේශය අත්හැර මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචියට ඒමට සිදුවිය. එසේ පැමිණි උන්වහන්සේ මොරටුමුල්ල ප්‍රදේශයේ කුඩා අසපුවක් සාදාගෙන පදිංචි වු ස්ථානය අද මොරටුමුල්ල තපසරාරාම මහා විහාරස්ථානය ලෙස ප්‍රද්ධියට පත්ව ඇත.

මෙම විහරස්ථානය ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන්වහන්සේලා සය නමක් යටතේ පාලනය වු විහරස්ථානයකි දැනට මෙහි විහාරධිපති හිමි ලෙස වැඩ සිටින  සරණපාල වංශාලංකාර ප්‍රේමරතන මංගල ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය අමරපුර නිකායේ කාරක සභික ධුරන්දර බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මොරටුවේ සුමනරතන නායක මහා ස්ථවිරයන් මෙම විහරස්ථානයේ හත්වන පාලකයාය. දොඩන්දුවේ සරණපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ, පටුවත ජිනානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ,  කහපල පේමානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, ගොරකපල සීලරත්න මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, මොරටුවේ ශ්‍රී පේමරතන අනුනායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, යන නායක හිමිවරුන් යටතේ මෙම විහරස්ථානය පාලනය වී ඇත.

මෙම ස්වාමීන් වහන්සේලා මෙම විහාරස්ථානයේ ආධිපත්‍ය දරමින් මොරටුමුල්ල ප්‍රදේශයේ  දියුණුවටත් බුද්ධශාසනයේ දියුණුවටත්  බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාත් අප්‍රමාණ සේවයක් ඉටු කොට ඇත. පරම්පරාවෙන් පරම්පරාවට  දියුණු වෙමින් ආ මෙම විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ ආධිකතෘත් වහන්සේ ලෙස අපට සිහිපත් වන්නේ  ගොරකපොල සිලරතන මහා ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ මෙම විහාරස්ථානයට බෝධි මළුව, ධර්ම ශාලාව, සීමාමාලකය, සංඝාවාසය, විහාර මන්දිරය යන විහාරාංග එක් කරමින් මෙම විහාරස්ථානයේ  නවීකරණ කටයුතු සිදු කොට ඇත. මොරටුමුල්ලේ ශ්‍රී  ප්‍රේමරත්න අනුනායක  ස්වාමීන් වහන්සේගේ වකවානුවේදී මෙම විහරස්ථානයේ සම්බුද්ධ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකොට තිබේ.

ගොරකලේ සිලරතන ස්වාමීන් වහන්සේගේ කාලය දී මෙම විහාරස්ථානයේ අසිරිමත් දේ සිදු විමට පටන් ගත්තේය.1922 වර්ෂයේදී සම්බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා තැබීමේ උත්සවය සඳහා පවත්වන ලද තුන් මාසික සෙත් පිරිත් දේශනයේදී තුන්වෙනි මාසයේ  දෙවන සතියේ  සිට සෑම සූත්‍ර දේශන  අවස්ථාවකදීම දේවතා එළි පහල වන්නට විය. එබැවින් දේවතා එළි පහල වුණ විහාරස්ථානය ලෙසත් මෙම විහාරස්ථානය ප්‍රසිද්ධියක් උසුලයි. 1924 දී අසිරිමත් තලමලක් පිපීම නිසා තලමල පිපුණු විහාරස්ථානය ලෙසත් මෙම විහාර ස්ථානය ප්‍රසිද්ධයි. එකල ධර්මරත්න හිමියන්  විසින් පලකළ පත්තරයක් වන “සඳරැස” පත්තරයේ  පවා මේ සිදුවීම් දෙක පිළිබඳව ලිපි පල වී තිබුණු බව දැන ගන්නට ඇත. එම  දේවතා එළි බැලීම සඳහා පිට පළාත් වලින් මොරටුවට බොහෝ  දෙනා  කරත්ත වලින් හා බර කරත්ත වලින් පැමිණ ඇත. ඒ වගේම දේවතා එළි දුටු පළමුවන දිනයේ අන්‍ය ආගමික පවුල් වල  අය බෞද්ධාගම වැලඳ ගත් බවට ද ඔවුන්  මෝල්පේ  ප්‍රදේශයේ පදිංචි අය බවට ද  දැන ගන්නට ඇත. මෙම විහාරස්ථානය දොඩන්දූවේ පන්සල ලෙස ද සමහරු හඳුන්වති. එසේ වීමට හේතුව ආධිකතෘ හිමියන්ගේ නම දොඩන්දූවේ සරණපාල හිමි විමය.

එදා සිට අද දක්වා සිටි දායක සභාවේ ප්‍රදේශවාසින්ගෙත් මහත් කැපවිම මත අද මෙම විහාරස්ථානය මොරටුවේ ප්‍රසිද්ධ විහරස්ථායක් බවට පත්ව ඇත.