නායක හිමි - Nayaka Thera

සරණපාල වංශාලංකාර පේමරතන මංගල ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය අමරපුර නිකායේ කාරක සභික ධුරන්දර බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මොරටුවේ සුමනරතන නායක මහා ස්ථවිරයන්

ක්‍රිස්තු වර්ෂ 1948 දී ජන්ම ලාභය ලැබූ නායක හිමියන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 1970 දී ප්‍රවෘජ්‍යා සම්පත්තියට පත් වූහ. අනතුරුව උගත මනා බණ දහමින් පෝෂිතව ශාසනික ආගමික සමාජික සේවයට කැපවූහ. ධර්ම දේශකයෙකු ලෙස පමණක් නොව ප්‍රදේශයේ සියලු කටයුතුවල දී උන්වහන්සේ ඉටු කරන සුවිශාල මෙහෙවර   විශේෂයෙන් අගය කළ යුතුය. මොරටුව පුරවරයේ බෞද්ධ ජනතාව සමග මෙන්ම අන්‍ය ලබ්ධිකයන් සමග ද එකමුතුව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් උන්වහන්සේගේ සමාජ නායකත්වය ආදර්ශවත්ව ප්‍රදර්ශනය කර ඇත. සමාජ ප්‍රගතිය සඳහා ආගමික මධ්‍යස්ථානවල මැදිහත්වීම මෙන්ම ආගමික නායකයන්ගේ මාර්ගෝපදේශකත්වය බෙහෙවින් අවශ්‍යය. මෙහිදී ප්‍රදේශයේ අනෙකුත්  හිමිවරු අතරින් නායක හිමිපාණන් වහන්සේට හිමිවනුයේ අද්විතීය තැනෙකි. ඒ  සඳහා මාර්ගෝපදේශකයාණන් කෙනෙකු ලෙස  ක්‍රියා කරන අති ගෞරවණීය මොරටුවේ සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි පැවිදි කා අතරත් කීර්තියක් දිනා ඇති තෙරනමකි.


බෞද්ධ සමාජය භික්ෂු-භික්ෂුණි, උපාසක-උපාසිකා යන සිවු වණක් පිරිසකින් සමන්විතය. මෙම සිවු පිරිස අතරෙන් වඩාත් ප්‍රමුඛත්වය හිමිවනුයේ භික්ෂු සංස්ථාවටයි. භික්ෂුව සතු වගකීම වන්නේ යහපත් වූ අන්තර් පුද්ගල සබඳතාවයන් යටතේ සාරධර්ම අතින් සමාජය පෝෂණය කරවීම වස් නොපැකිලිව ක්‍රියා කිරීමයි. භික්ෂුව සතු එකී වගකිම කවරේදැයි මනාව තේරුම්ගෙන ක්‍රියාකරන යතිවරයන් වහන්සේ  නමක් ලෙස අපේ නායක හිමියන් හඳුන්වා දිය හැකිය. මොරටුමුල්ලේ තපසරාරාම විහාරය ප්‍රමුඛ තදානුබද්ධ විහාරස්ථානයන්හි ශිෂ්‍ය බාලාදීන්ගේ ආධ්‍යාපනික අවශ්‍යතා මෙන්ම දායකකාරකාදීන්ගේ ආගමික අවශ්‍යතා ද සපුරාලීමෙහිලා මෙකී ස්ථවිරයන් වහන්සේ නිරන්තර දැඩි කැපවිමකින් ක්‍රියා කරනසේක. එසේම ගිහි පැවිදි සකල සාධූ ජනයාගේ සද්ධා - භක්තිය වර්ධනය වන ආකරයට ක්‍රියා කරන නායක ස්ථවිරයන්ගේ ක්‍රියා පිළිවෙත වෙසෙසින් අප තරුණ භික්ෂු පරපුරේ ආදර්ශයට යෝග්‍යයි.

තවද ශාසනික විනය කර්ම සිදු කිරීමේ දී ප්‍රධානත්වය දරමින් ඒ කෙරෙහි මෙම ස්ථවිරයන් දක්වන විචක්ෂණභාවය බෙහෙවින්ම ඇගයිය යුතුය. විද්‍යාකීර්ති මොරටුවේ ශ්‍රී පේමරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පා සෙවණෙහි හැඳී වැඩි යහපත් භික්ෂු ආකල්පයන්ගෙන් පෝෂිතව එදා මෙදාතුර සුමනරතන ස්ථවිරයන් ගත කළ භික්ෂු ජීවිතය අපේ පැරණි භික්ෂු පරපුරේ ජීවමාන ගුණයන් ප්‍රකට කරවයි.

ශ්‍රමණ සාරුප්‍ය හා බහුශ්‍රැතබව භික්ෂුවගේ අගය ඉහළ නංවන ලක්ෂණ දෙකකි. සුමනරතන නාහිමියෝ එම ගුණ දෙකෙන්ම  යුක්තයහ. ගුරු පා සෙවණින්,මහ තෙරවරුන් ඇසුරින් සහ පොත පතින් ලත් දහම් දැනුම සහ ශාසනික වත් පිළිවෙත් පිළිබඳ සුමනරතන නාහිමියන්ගේ දැනුම ඉතා ඉහළය. කුල දරුවන් පැවිදි කිරීම උපසම්පදා විනය කර්මය,  සීමා සම්මත විනය කර්ම හා බැඳුණු වත් පිළිවෙත් ඒවා ඉටු කළ යුතු ආකාරය පිළිබඳ උන්වහන්සේ සතු අවබෝධය වර්තමානයට බෙහෙවින් උපයෝගීතාවයෙන් යුක්තය. ශාසනික කාර්යයන් වන තුන් තිස් පැය ආදී පිරිත් පිංකම්වලට අදාල පෞරාණික චාරිත්‍රවිධි පිළිබඳව ද උන්වහන්සේට ඇත්තේ සුවිශේෂී දැනුමකි සුමනරතන නාහිමියන්ට මනා වූ ස්මෘති ශක්තියක් ඇත. ධර්ම විනයට අදාල බොහෝ සූත්‍ර දේශනාවන් කට පාඩම්ය. ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවට අයත් විහාරස්ථානයන්හි ගුරු ආචාර්ය සඟ පරපුර විහාර පරම්පරාවන් හොඳින් මතකය. උක්ත තොරතුරු ගිහි පැවිදි බොහෝ දෙනෙක් සුමනරතන නාහිමිපාණන්ගෙන් අසා දැන ගනිති. එම තොරතුරු සියල්ල උන්වහන්සේගේ මතක ගබඩාවේ තැන්පත්ව ඇත. 

වර්ෂ 1979 දී  විද්‍යාකීර්ති මොරටුවේ ශ්‍රී පේමරතන අනුනායක ස්වමීන්ද්‍රයාණන්  වහන්සේ අපවත් වීමත් සමඟ කීර්තිමත් තපසරාරා විමාරස්ථනයට එක් අඳුරු කාල පරිච්ජේදයක් උදා විය. සියල්ල අනිත්‍යය යන ධර්මතාව තපසරාරාමයට ද සාධාරණ විය.

එහෙත් එම අඳුර නොබෝ කලකින් පහව යන්නට විය. ඒ මොරටුවේ සුමනරතන හිමියන් තපසරාරාමයට සම්ප්‍රාප්ත වීම හේතුවෙනි. උන්වහන්සේ‍ගේ පැමිණීමත් සමග සියල්ල පණ ලබන්නට විය. විහාරස්ථනයට වෙත කලකිරී ඈත්ව සිටි දායක දායිකාවෝඅලුත් පිබිදීමකින් පන්සලට සපැමිණෙන්ට වූහ. සියලු ආගමික කටයුතු යළි ආරම්භ විය. පන්සල නිබඳ දායක දායිකාවන් ගැවසෙන තැනක් බවට පත් විය. තම ගුරු දෙවි මොරටුවේ ශ්‍රී පේමරතන අනු නා හිමියන් රැක බලා ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් උපස්ථාන කිරීම, මොරටුවේ සුමනරතන හිමියන්ගේ සිදු වූ ඉහළම සේවය බව මෙහිලා සඳහන් කළ යුතුය. එසේම ඉදිරි සඟ පරපු‍ර ශෝභාවත් කිරීම සඳහා සිසු පිරිසක් සකස් කර තිබිම ද ප්‍රකාශ කළ යුතු සුවිශේෂ කරුණකි. උන්වහන්සේගේ සිසු පිරිස අතර දම්පේ විජිතරතන හිමියෝ ආචාර්යය උපාධිය සඳහා විදේශ ගතව තායිවාන්හි අධ්‍යාපනය  ලබති. අටවක්වල කුසලරතන හිමියෝ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වී සිටිති මෙයට අමතරව පස්ගොඩ සුබෝධිරතන පැවිදි ශිෂ්‍යයෝ අධ්‍යාපනය ලබමින් සිටිති.

සසුන් කෙතෙහි වැඩ වසන මෙවන් තෙරවරුන් ගෞරව සම්මාන පිරිනැමීම බුද්ධ කාලයේ සිට පැවත එන චාරිත්‍රයකි. එම සම්ප්‍රදායට අනුව යන අමරපුර නිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් මෙයට පෙර මොරටුවේ සුමනරතන හිමියන්ට එහි කාරක සභික ධූරයන් පිරිනමා අනතුරුව සරණපාල වංසාලංකාර, පේමරතන මංගල ධර්ම කීර්ති ශ්‍රී යන නාම සම්මුතිය සමග සම්මාන නායක ධූරයක් ද ප්‍රදානය කරන ලදි.

ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව විසින් මොරටුවේ සුමනරතන නාහිමියන්ගේ අඛණ්ඩ ශාසනික මෙහෙවර තව දුරටත් උත්කර්ෂවත් ලෙස අගයමින් බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධූය ද උන්වහන්සේට පිරිනමනු ලැබ ඇත.